අවසන් ආසාදිතයින් 7 දෙනා හමුවූ ස්ථාන මෙන්න

කොරෝනා අසාදිතයින් 210ක්.... අවසන් ආසාදිතයින් 7 දෙනා හමුවූ ස්ථාන මෙන්න

by Staff writer 13-04-2020 | 6:24 AM
COLOMBO (News 1st) : මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් 210 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයින් හත්දෙනෙකු හමුවීමත් සමගයි. මීට පෙර කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ගුවන්තොටුපළ පිරිසිදු කිරිමේ අංශයේ සේවිකාවගේ සමීපතමයෙක්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරිනියක්, ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්, නැගෙනහිර පළාතේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිදෙනෙක් සහ පුනානි නිරෝධානය මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙක් ද නව කොරෝනා ආසාධිතයින් ලෙස හදුනා ගැනිණ. එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් වෙති. මොවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ තවත් රෝගීන් 147 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මෙරට මියගිය පිරිස 7 දෙනෙකි. මේ අතර, ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 කු නාවික හමුදා භාරයට ගැනිණ. මේ අතර, රාගම සහ වැලිසර රෝහල් වල සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27 ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ, නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.