එළවලු-පළතුරු කිලෝ ලක්ෂ9කට අධික ප්‍රමාණයක් මිලට ගනී

එළවලු - පළතුරු කිලෝ ලක්ෂ 9 කට අධික ප්‍රමාණයක් මිලට ගනී - ජනාධිපති කාර්ය සාධක බලකාය

by Staff writer 13-04-2020 | 6:40 PM

COLOMBO (News 1st) : ගොවීන්ගෙන් එළවලු සහ පළතුරු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ කිලෝ ග්‍රෑම් ලක්ෂ 9 කට අධික ප්‍රමාණයක් මිලට ගෙන ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරයි.

ඉකුත් දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවුයේ ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගොවීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ය. නුවරඑළිය සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම අස්වනු මිල දී ගෙන තිබේ. දඹුල්ල ප්‍රදේශයේ එළවලු ව්‍යාපාරිකයින් විශාල වශයෙන් තොග ඉදිරිපත් කර ඇතැයි සඳහන්. කිරුම් මිනුම්, බිල්පත් නිකුත් කිරීම්, මුදල් ගෙවීම් ඇතුළු කාර්යන් කිහිපයක් ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත්, අදාළ මධ්‍යස්ථානවලට රැගෙන ආ අවසාන එළවලු කිලෝ ග්‍රෑමය දක්වාම මිලදී ගන්නා බවත් රජය ප්‍රකාශ කරයි. ඊයේ රාත්‍රී 11 වනවිට නුවරඑළිය එළවලු තොග මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලින් කිලෝ ග්‍රෑම් තුන් ලක්ෂ 17396 ක් මිලදී ගෙන ඇති අතර දඹුල්ල සහ තඹුත්තේගම පිහිටි මිලදී ගැනීම් මධ්‍යස්ථානවලින් එළවලු සහ පළතුරු තොග කිලෝ ග්‍රෑම් පන්ලක්ෂ 86272 ක් මිලදී ගෙන තිබේ. මිලදී ගන්නා සියළු එළවලු එම අවස්ථාවේදීම රට පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත බෙදා හරිමින් පවතින බවත්, පළාත් පාලන ආයතන, එම බල ප්‍රදේශ තුළ සාධාරණ මිලකට එළවළු අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළේය. නුවරඑළියෙන් මිලදී ගත් එළවලුවලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කට වන අතර, එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 83865 ක් ලෙස වාර්තා වෙයි. ජනාධිපති කාර්ය සාධක බලකාය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දඹුල්ල සහ තඹුත්තේගම ප්‍රදේශවලින් මීලදීගත් එළවලුවලින් කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ 19187ක් ගාල්ල දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කර ඇති බවයි.