ඉන්දියාවේ-පකිස්තානේ ආර්ථික කටයුතු ආරම්භයට පියවර

ආර්ථික කටයුතු අර්ධ වශයෙන් විවෘත කිරීමට ඉන්දියාව හා පාකිස්ථානයේ සැළසුමක්

by Staff writer 13-04-2020 | 6:42 PM

News 1st - කොරෝනා වසංගතය හේතුවෙන් සිය රටවල් වසා දැමීමේ සිමා ලිහිල් කිරිමට රටවල් කිහිපයක් සුදානම් වේ.

විදෙස් වාර්තා අනාවරණය කළේ සිය ආර්ථික කටයුතු අර්ධ වශයෙන් යළි ආරම්භ කිරීමට ඉන්දියාව හා පකිස්ථානය සැළසුම් කරන බවයි. මේ යටතේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද තහවුරු කරමින් රෙදිපිළි, ආරක්ෂක සහ ඉලෙක්ට්‍රොනික ඇතුළු ප්‍රධාන පෙළේ ‍නිෂ්පාදන කර්මාන්ත නැවත ආරම්භ කෙරෙනු ඇති. හෙට පෙරවරු 10ට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට නියමිතව තිබේ. රට වසා දැමීමේ කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එය දිර්ඝ කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණයක් ගැනීමට නියමිත ය. කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට වසා දැමීමේ කාලය තවදුරටත් දිර්ඝ කරන ලෙස ප්‍රාන්ත කිහිපයක බලධාරීන් එරට මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ. මේ අතර සිය රට වසා දැමීමේ නීති යම් තරමකට ලිහිල් කිරීමට ස්පාඥ බලධාරීන් අද පියවර ගත්තේ ය. ඒ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව සහ රෝගීන් වාර්තා වීම අඩුවක් පෙන්නුම් කිරීම හමුවේ ය. ඒ අනුව එරට තුළ ඉදිකිරීම් සහ නිෂ්පාදන කර්මාන්ත යළි ආරම්භ කිරීම සඳහා අවසර දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් රට වැසියන්ට තවදුරටත් නිවසින් පිටවිම තහනම් වනු ඇති. ‍