නිරෝධායන මධ්‍යස්ථායෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්

අද (12) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු මෙන්න

by Staff writer 12-04-2020 | 4:40 PM
COLOMBO (News 1st) : මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පෙරවරුවේ තවත් ආසාදිතයින් හතරදෙනෙකු හමුවීමත් සමගයි. එම සිව් දෙනා හඳුනාගෙන ඇත්තේ, පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී ය. බේරුවල සිට පසුගිය දා ඔවුන් පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇතැයි, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු රෝගීන් සංඛ්‍යාව 55 ක් දක්වා අද ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, තවත් රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. මේ අතර, කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මෙරට මියගිය පිරිස 7 කි. මේ අතර, ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 කු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ජා - ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන්, පසුගිය 09 වනදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණ. ඔවුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. එම තත්ත්වය හමුවේ, එම 06 දෙනා ඇතුළු අනෙකුත් පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පවත් වන ලද තවත් පුද්ගලයින් පිරිසක් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසී ය. ඒ අනුව, ජා-ඇල ප්‍රදේශයේ පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයේ පසුවෙති. ඉන් 42 කු පිරිමි පුද්ගලයින් වන අතර, ඉතිරි 10 දෙනා කාන්තාවෝ වෙති. කුඩා පිරිමි දරුවන් 03 දෙනෙක් හා කුඩා ගැහැනු දරුවන් 03 දෙනෙකු ද එම පිරිස අතර සිටින බව නාවික හමුදාව පැවසී ය.