අමෙරිකාව ලොව කොරෝනා මරණ වැඩිම රට බවට පත්වෙයි

ඉතාලිය අභිබවමින් අමෙරිකාව ලොව කොරෝනා මරණ වැඩිම රට බවට පත්වෙයි

by Hashini De Mel 12-04-2020 | 1:11 PM

COLOMBO (News 1st): අමෙරිකාව මේ වනවිට ඉතාලියේ අභිබවමින් ලෝකයේ වැඩි ම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූ රට බවට පත්ව තිබේ.

ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලින් පෙනී යන්නේ, කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 20,000 කට අධික පිරිසක් මේ වනවිට මිය ගොස් ඇති බවය. දිනක් තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 2000 කට අධිකව වාර්තා වූ පළමු රට බවට ද අමෙරිකාව පත්විය. ගතවූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1830 ක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 532,879කි. "එය සෑම විටම ඉහළ මට්ටමක නොපවතින අතර, එම සංඛ්‍යාව තරමක් ස්ථාවරවන නමුත් එය බිහිසුණු අනුපාතයකින් ස්ථාවරවන බව ඔබට පෙනෙනු ඇති. ඒ වගේම මේවා ඇදහිය නොහැකි අලාභ සහ වේදනාවන්'' එසේ සඳහන් කරනු ලබන්නේ නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩ්‍රේ කියෝමෝ විසිනි. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් 530,000 කට ආසන්න සංඛ්‍යාවෙන් 180,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. මේ අතර ඉතාලිය, ස්පාඥ්ඤය, ප්‍රංශය, ජර්මනියේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය. ඉතාලියෙන් 19,468 ක්, ස්පාඥ්ඤයෙන් 16,606 ක්, ප්‍රංශයෙන් 13,832 ක්, ජර්මනියෙන් 2871 ක් ලෙස කොරෝනා ආසාදිත මරණ සටහන් විය. මේ අතර ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිත මරණ 917 ක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. බ්‍රිතාන්‍යයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 78,991 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 108,770 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,665,392කි.