ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

'සීමා ලිහිල් කිරීම අවදානම්..' - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

by Sagarika Chathumali 11-04-2020 | 5:59 PM
COLOMBO (News 1st) : කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් පැනවූ සීමා ලිහිල් කිරීම අවදානම් සහගත ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් අනතුරු අඟවා තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එමගින් වෛරසයේ මාරාන්තික නැගී සිටීමකට ඉඩ ඇති බවයි. යුරෝපා කලාපයේ දරුණු ලෙස කොරෝනා වෛරසයේ බලපෑමට මුහුණ දී සිටින ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් ඇතැම් සීමා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණ සැලකිල්ලට ගෙන ඔහු මෙලෙස අදහස් දක්වා තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා හී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය ටෙඩ්‍රොස් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, යුරෝපා කලාපයේ ඇතැම් රටවල් කොවිඩ් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන වෙනුවෙන් තමන් සතුටු වන බවයි. මේ අතර ස්පාඤ්ඤ රජය විසින් එරට ඉදිකිරීම්, කර්මාන්ත ශාලා ඇතුළු අත්‍යවශ්‍ය නොවන අංශයන්හි සේවකයින්ට රැකියා සඳහා අවසර ලබාදීමට සූදානමක් ඇති බවට විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කර තිබේ. තවද ඉතාලි අග්‍රාමාත්‍ය කොන්ටේ විසින් එරට හුදකලා කාලය මැයි 3 වැනි දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති අතර, මාර්තු 12 වැනිදා සිට වසා දැමුණු ව්‍යාපාරවලින් සුළු ප්‍රමාණයක් යළි විවෘත කිරීමට අවසර ලබා දීමට තීරණය කර ඇත. පොත් අලෙවි සල් හා ළමා රෙදිපිළි අලෙවි සල් වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ව්‍යාපාර සඳහා ඒ අනුව අවසර ලැබෙනු ඇත. කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් ඉතාලියේ ව්‍යාපාර සම්පූර්ණයෙන් ම වසා දැමුණු අතර, අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසල් හා ඖෂධ සැල් පමණක් විවෘතව තිබිණ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සීමා ලිහිල් කිරීමට රජයන් සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානය උපාය මාර්ග සකස් කරමින් සිටින නමුත් ඇතැම් රටවල් සීමා ලිහිල් කිරීම ඉක්මනින් සිදු නොකළ යුතු බවයි. ලොව සෑම රටක්ම පාහේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද භයානක වෛරසයෙන් මිදීමට පැනවූ සීමා ලිහිල් කිරීමේදී රටවල් ප්‍රවේසම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී. ඇතැම් යුරෝපා රටවල වෛරසය පැතිරීම යම් පමණකට සීමා වී තිබුණ ද අප්‍රිකානු කලාපයේ රටවල් 16කට වැඩි සංඛ්‍යාවක වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදනයෙන් අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත.