ලංකාවේ අභිවෘද්ධිය අපේක්ෂාකරන්නන්ට නව බැංකු ගිණුමක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය අපේක්ෂා කරන්නන්ට රජයෙන් නව බැංකු ගිණුමක්

by Staff writer 11-04-2020 | 7:13 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලාංකිකයින්ට තම විදේශ මුදල් ඉපැයීම් , ඉතිරි කිරිම් සහ ආයෝජන ඕනෑම බැංකුවක තැන්පත් කිරිමට අවස්ථාව සලසා දී තිබේ. විශේෂ තැන්පතු ගිණුම නමින් ඒ සඳහා නව ගිණුමක් හඳුන්වා දී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙම ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි. රට තුළ සහ රටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, ශ්‍රි ලංකා සම්භවයක් සහිත පුද්ගලයින්, ශ්‍රි ලංකාවෙන් බැහැර අන්‍ය ජාතිකයින්, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සමාගම්වලට මෙන්ම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඕනෑම අයෙකුට එම ගිණුම ආරම්භ කළ හැකි වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නව ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට සීමාවක් නොමැති බවයි. තැන්පතුවක අවම කාලය මාස 6 කි. මෙම ගිණුම සඳහා සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලියට වැඩි පොලී අනුපාතයක් තැන්පතුව කල් පිරිමේදී ගෙවනු ලබන බව එම නිවේදනයේ සඳහන් ය. ඒ අනුව, මාස 6 ක විශේෂ තැන්පතු ගිණුමට 1% ක සහ මාස 12 තැන්පතුවට 2 %ක වැඩිපුර පොලියක් ගෙවනු ලබයි. අදාළ තැන්පතුව කල් පිරිමෙන් පසු මෙරටින් මුදල් රැගෙන යාමට හෝ බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමේ අවසරය ද හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. නව ගිණුම ආරම්භ කරන ගිණුම් හිමියන්ට ලැබෙන වැඩිදුර ප්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2020 අයවැය ලේඛනයෙන් හඳුන්වා දිමට නියමිතයි.