ලොවපුරා කිතුණුවන් සමරන මහ සිකුරාදා දිනය අදයි

ලොවපුරා කිතුණුවන් සමරන මහ සිකුරාදා දිනය අදයි

by Staff writer 10-04-2020 | 4:00 PM

COLOMBO (News 1st) - ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝක ජනතාවගේ පාපය නිසා සිය ජිවිතය පූජා ක‍ළේ අද වැනි දිනක බව ලොවපුරා කිතුණුවන්ගේ විශ්වාසයයි.

එය සිහි කරමින් සැමරෙන මහ සිකුරාදා දිනය අදයි. කිතුණුවන් සාම්ප්‍ර‍දායිකව මාර්තු මාසයේ අලු බදාදායින් ඇරඹෙන දින හතළිහක් පුරා විවිධ අගමික වතාවත්වල නිරත වනවා. ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළුවීම සිහිපත් කරමින් කිතුණු බැතිමතුන්, පසුගිය ඉරිදා දිනයට යෙදී තිබූ ගොබ් ඉරිදා දින සිට ශුද්ධ වූ සතිය ආරම්භ කළේය. උන්වහන්සේ සිය මරණයට පෙර අපොස්තලුවරුන් 12 දෙනා සමග අන්තිමරාත්‍රී භෝජනයට එක්වීම හෙවත් මහ බ්‍රහස්පතින්දා දිනය ඊයේට යෙදී තිබුණි. ජේසුස් වහන්සේ අපොස්තලුවරුන් දොළොස්දෙනා සමග ප්‍රේමයේ පනත සහ දිව්‍ය සත්ප්‍රසාද සක්‍රමේන්තුව ස්ථාපිත කිරීමද සිදු කෙරුණේ මහ බ්‍රහස්පතින්දා දිනයි. ඉන් අනතුරුව උන්වහන්සේගේ ගෝලයින් 12 දෙනාගෙන් කෙනෙකු වන ජූදාස් විසින් ක්‍රිස්තුස් වහන්සේ පාවා දීමෙන් අනතුරුව , උන්වහන්සේ අසාධාරණ විනිශ්චයකට ලක් කරමින් , කල්වාරි කදුමුදුනේ කුරුසියේ ඇණ ගාසා මරා දැමීම සිදුවුයේ අද වැනි දිනකයි.