මධ්‍යම,දකුණු පළාතේ සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා

මධ්‍යම සහ දකුණු පළාතේ සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබේ

by Staff writer 09-04-2020 | 6:05 PM

COLOMBO (News 1st) - මධ්‍යම සහ දකුණු පළාත්වල සියලු බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ, ඇතැම් සුරාසැල් ආශ්‍රිතව සිදු වන අක්‍රමිකතා සැළකිල්ලට ගනිමිනි. මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනවිරත්න මහතා පැවසුවේ, පළාත තුළ බලපත්‍රලාභී සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්‍රිත සුරාසැල් 500 කට අධික සංඛ්‍යාවක් එලෙස තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බවයි. මීට අමතරව දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට පියවර ගත් බව අප කළ විමසීමකදී දකුණු පළාත් සහකාර සුරබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පොලිස් ඇඳිරි නීතිය බලාත්මකව තිබියදීත් රාත්‍රී කාලයේ ඇතැම් සුරාසැල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. මේ සම්බන්ධයෙන් අප සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ, ඒ, ඒ පළාත්වල සුරාබදු අපරාධ සහ සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කිරීම අවම කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බවයි.