වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා මාලාවක්

Covid-19 තුළින් සිදුවන ආර්ථික හානිය අවම කර ගැනීමට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා මාලාවක්

by Staff writer 08-04-2020 | 9:51 PM

COLOMBO (News 1st) - Covid-19 වෛරසය තුළින් රටට හා ආර්ථිකයටවන හානිය අවම කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ හයේ පීඨාධිපතිවරුන් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් පසුගිය 5වැනිදා මෙම යෝජනා මාලාව යොමුකර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ Covid-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් වෙතයි. කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජනක ද සිල්වා, රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සරත් ලේකම්වසම්, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්.ඒ.එම් කුලරත්න, රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහචාර්ය සිසිර සිරිබද්ධන, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සරෝජ් ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමනි වනිගසූරිය යන මහත්ම මහත්මීන් මෙම යෝජනාවලට අත්සන් කර තිබේ. මෙතෙක් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමකට ලක් කරන මහාචාර්යවරුන් විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අසාදිතයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථකවී ඇතැයි පෙන්වා දෙන්නේය. නමුත් පවතින තත්ත්වය හේතුවෙන් ජනතාවට හා කර්මාන්තවලට බලපෑම් සිදුවන නිසා ශ්‍රී ලංකාව මෙම තත්ත්වයෙන් මිදිය යුතු බව ඔවුන්ගේ අදහසයි. විවිධ රෝග තත්ත්ව වලින් පෙලෙන පුද්ගලියින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අපහසු වී ඇති අතර ජනග්‍රහණයෙන් 10% ක් වන වයස 65 වැඩි ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීම ද අපහසු වී තිබේ. මෙම අපහාසුතා අවම කිරීමට රජය පියවර රැසක් ගෙන තිබියදීත් මෙම තත්ත්වය ඇති වී ඇති බව වෛද්‍ය පීඨ පීඨාධිපතිරුන්ගේ අදහසයි. ආර්ථික ඵලදායීත්වය සළකා බැලූ විට ඇඟලුම් කර්මාන්තයට පමණක් රුපියල් බිලියන 2 ක අලාභයක් සිඳුවී ඇති අතර එදිනෙදා අදායමින් ජීවත් වන පුද්ගලයින් ද අසරණවී ඇත. පවතින ඇදිරි නීතිය නිසා සමාජ තුළ යම් බියක් ඇති වී තිබෙන හෙයින් බොරු ප්‍රචාර රැසක් ව්‍යාප්ත වන බවද මහාචාර්යවරුන් සඳහන් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් උණ සහ කැස්ස ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පවා සෞඛ්‍ය අංශ බිය වී ඇති බවයි. මෙරට තුළ පළමු රෝගියා සොයාගෙන දෙවැනි රෝගියා සොයා ගැනීමට සති 6 ක් ගතව ඇති බැවින් රෝගය රට තුළ ව්‍යාප්ත වීමේ වේගය අඩුවී ඇති බව වෛද්‍යපීඨ පීඨාපතිවරුන් පෙන්වා දෙයි. ලොව වටා මෙම රෝගය වේගයෙන් ව්‍යාප්තවී ඇති නමුත් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව පොලිස් ඇඳිරි නීති තත්වයෙන් නුදුරේදීම ඉවත් වීමට හැකි බව ඔවුන්ගේ අදහසයි. මෙම තීරණය ගන්නා විට සියලු විද්‍යාත්මක කරුණු හා සාධක සළකා බලා චීනය, දකුණු කොරියාව , වියට්නාමය, සිංගප්පූරුව වැනි ආසියාතික රටවල් අනුගමනය කරන ලද ක්‍රමවේද සළකා බැලිය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ. පළමු පියවරක් ලෙස රෝගය පැතිරීම පහළ මට්ටමක තිබේ නම් , දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අදියර වශයෙන් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ හැකි බව මහාචාර්යවරුන් 6 දෙනාගේ යෝජනාවයි. මේ තුළ ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටිනවා යැයි සැක කරන ප්‍රදේශ හුදකලා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේය. රෝහල්, සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම් හල් සහ ඖෂධ වෙළදසැල් නියමිත කාලයකට විවෘතව තබන ලෙස යෝජනා කරන මොවුන් සෑම නිවසකටම මෙම සේවාවන් ලබා ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමවේදයක් ද යෝජනා කර තිබේ. මුහුණු ආවරණ සහ සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීම අනිවාර්ය කළ යුතු යැයි යෝජනා කරන මහාචාර්යවරුන් කියා සිටින්නේ දස දෙනෙකුට වැඩියෙන් එක් ස්ථානයක ඒකරාශීවීම ද වැළැක්විය යුතු බවයි. කොරෝනා රෝග පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා පියවර ගැනීමට මෙම මහචාර්යවරුන් යෝජනා කරන අතර මේ සඳහා වෛරස පිළිබඳ විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීම සුදුසු බව යොජනා කර තිබේ. මේ අතර ආසාදිත සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් ඇති වීමෙන් සිදුවන අපහසුතා වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග කලින්ම ගැනීම යෝග්‍ය බවද ඔවුන් කියා සිටී. යම් කාලයකට ආසාදිතයින් වාර්තාවීම් වැඩි නොවුණහොත් බලධාරීන්ට පවතින සීමා ලිහිල් කළ හැකි බව ඔවුන්ගේ මතයයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලින් අසමගිය පැතිරවීමේ ප්‍රකාශ වැඩි වැඩියෙන් වාර්තා වන අතර එතුළින් ජනිත වන යම් මතවාදයක් නිසා රෝග තත්ත්වයන් වසන් කිරීමට මිනිසුන් යොමු විය හැකි බවටද මහාචාර්යවරුන් අනතුරු අඟවා තිබේ.