ඇඳිරි නීති බලපත්‍රය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ඇති ආයතන 43 ක් ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 08-04-2020 | 2:18 PM

COLOMBO ( News 1st ) -  සේවකයින් සඳහා රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබාදෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ආයතන 43 ක් පොලිස් මූලස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව, ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල, සියලුම විදේශ තානාපති කාර්යාල, විදේශ, මුදල්, සෞඛ්‍ය, ආරක්ෂක හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ ශ්‍රී ලංකා මහ බැංකුව, සිවිල් ආරක්ෂක, සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා, ආගමන හා විගමන, කෘෂිකර්ම, දුම්රිය, බන්ධනාගාර, තැපැල්, ගොවිජන, ගිනි නිවීම් හා සුරාබදු යන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රේගුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ටෙලිකොම්, රජයේ මුද්‍රණාලය, සේවකයින් සඳහා රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබාදෙන ආයතනවලට ඇතුළත් ය. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ඛනිජ තෙල් ගබඩා පර්යන්තය, ලංගම, ආයෝජන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ලංකා පෞද්ගලික විදුලි සමාගම හා ජල සම්පාදන මණ්ඩලය ද ඊට අයත් වේ. වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සමාගම, පාරිභෝගික සේවා අධිකාරිය, සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු, සියලුම පෞද්ගලික රෝහල්, සියළුම රක්ෂණ සමාගම්, සියලුම මාධ්‍ය සේවා ආයතන, සහ සියලුම පළාත් පාලන ආයතනවල සේවකයින්ට ද රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලැබෙනු ඇති. එසේ වුවත් සේවා අවශ්‍යතාවක් නොමැතිව ඇඳිරි නීති කාලය තුළ තම සේවා හැඳුනුම්පත අවභාවිත කරමින් කටයුතු කිරීම, ආයතනික විධිවිධාන යටතේ විනයානුකුලව කටයුතු කිරීමට මෙන්ම අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට හේතු විය හැකි බව පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ. ඉහත සඳහන් ආයතනවල අවම සේවකයින් සංඛ්‍යාවක් සේවය සඳහා යෙදවීමටත් එම සේවකයින් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන දිනය, වේලාව, ස්ථානය හෝ ප්‍රදේශ සහ වාහන අංකය පිළිබඳව වාර්තාව අදාළ සේවා ස්ථානවල තබා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද 04 ක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගින් එම කටයුතු සිදු කෙරෙනු ඇති බවයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම පොලිස් මූලස්ථානය මගින් සිදු කෙරේ. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරී නීති බලපත් නිකුත් කෙරෙන්නේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ය. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරේ. ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10 ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආයතනවලට ඇඳිරී නීති බලපත්‍ර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10 ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට පැවරෙනු ඇති.