මැතිවරණ කොමිසමේ සභාපති විවේචනවලට පිළිතුරු දෙයි

මැතිවරණ කොමිසමේ සභාපති විවේචනවලට පිළිතුරු දෙයි

by Staff writer 08-04-2020 | 10:34 PM

COLOMBO (News 1st) - Covid-19 ආපදාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී පක්ෂය හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් වැළකී සිටිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්යෙන් කෙරෙන විවේචනවලට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා .තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණ කාලසීමාවක් නිසාත් රට ආපදාවකට මුහුණ දී ඇති නිසාත් මෙවැනි විටක පදනමක් රහිතව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් පිළිතුරුදීමට අවශ්‍ය බවයි. නමුත් විවේචකයින්ගේ හඬට සමානව ප්‍රතිචාර දැක්විය නොහැකි බව ඔහු අවධාරණය කරයි. මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බව තමන් කිසිවිටෙක ප්‍රකාශකර නොමැති බවයි. නමුත් මේ ක්‍රියාමාර්ග හරහා දේශපාලනඥයින් , අපේක්ෂකයින් ස්වකීය පක්ෂය හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය නොකළ යුතු බව තමන් පෙන්වාදුන් බව ඔහු අවධාරණය කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ එය ඡන්ද විමසීම් කාලයකදී පමණක් නොව ශිෂ්ට රටකදී සාමාන්‍ය තත්ත්වය යටතේ වුවද නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ අදහස බවයි. මැතිවරණ කොමිසම කිසිවෙකුට පක්ෂපාතී නැතැයි අවධාරණය කරන මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් කොමිසම පක්ෂපාතී බව අවධාරණය කර තිබේ.