පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 19 කට හෙට ලිහිල් කරන පොලිස් ඇඳිරි නීතිය ලබන 14 වැනි දා දක්වා ක්‍රියාත්මකයි

by Hashini De Mel 08-04-2020 | 5:06 PM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වනතුරු බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල හෙට උදෑසන 6.00 ට ලිහිල් කෙරෙන පොලිස් ඇඳිරි නීතිය හෙට සවස 4.00 ට නැවත පනවනු ඇති. එම දිස්ත්‍රික්කවලට යළි පනවන පොලිස් ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ඉවත් කර එදිනම සවස 4.00 සිට නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි. එබැවින් පොලිස් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටි. ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ, අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙසයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ. පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමිවනු ඇති. කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබන අතර කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම්ය.