දියුණු සහ නිරෝගිමත් ජාතියක් ලෙස අපි යළි නැගිටිමු!

COVID-19 මර්දනයට නිවසේ සිට රට වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න - අගමැති ජනතාවගෙන් ඉල්ලයි

by Chathuranga Rajapaksha 07-04-2020 | 10:58 PM

* අපට මේ මොහොතේ සිටින එකම සතුරා කොරෝනා පමණයි

* අපි ජීවත් වෙනවාද? මැරෙනවාද? යන්න තීරණය වන්නේ අප ක්‍රියාත්මකත වන ආකාරයට අනුවයි

* මූණ ඇඹුල් කරන් නිරෝධානයට ගිය පිරිස් සිනහ මුසු මුහුණින් නැවත ගෙදර ගියා

* පළමුව රටේ දරු පරපුර කොරෝනා වෛරසයෙන් රැක ගැනීමට රජයට හැකි වුණා

* ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න හැකි වුණා

* ජනතාවට රජය සහන දුන්නේ පාර්ලිමේන්තුවේ සහයක් නොමැතිව

* මනුෂ්‍යයින් ලෙස සිතුවොත් පමණයි අපට මෙම මිනී වලෙන් එහාට යාමට හැකි වන්නේ

* වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුයි

* දියුණු සහ නිරෝගිමත් ජාතියක් ලෙස අපි යළි නැගිටිමු!

COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා පවුලේ සාමාජිකයින් සමග නිවසේ සිට රට වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කොරෝනා වෛරසය හමුවේ අපි ජීවත් වෙනවාද? මැරෙනවාද? යන්න තීරණය වන්නේ මෙම ව්‍යසනය හමුවේ අප ක්‍රියාත්මකත වන ආකාරයට අනුව බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. ඒ, සඳහා විනය ඉතා වැදගත් බවත් කොරෝනා මර්දනය ගැන රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ, කොරෝනා මර්දනය පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. සිය ගණනක් පිරිස් නිරෝධාන ක්‍රියාවලියට යොමු කිරීමට රජයට හැකිවූ බවත් නිරෝධායන මධ්‍යස්ථාන 40ක් පමණ රටතුළ ස්ථාපනය කිරීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේය. එම නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නිකන් ගොඩනැගිලි නොව සියලු පහසුකම්වලින් සමන්විත ස්ථාන බවත් කොත්තමල්ලි කෝප්පය පවා එහි සිටි පුද්ගලයින්ට ලබා දීමට හැකි වූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මූණ ඇඹුල් කරන් නිරෝධානයට ගිය පිරිස් සිනහ මුසු මුහුණින් නැවත ගෙදර යන්නේ එම පහසුකම් නිසා බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. කොරෝනා මර්දනයට දින 6ක් තුළ රජයට වැලිකන්දේදී රෝහලක් ඉදිකිරීමට හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. නිරෝධායනය මග හරින පුද්ගලයින් සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ පවා දායකත්වය ලබා ගැනීමට රජයට සිදු වූ බව ඔහු කියා සිටියේය. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමමින් පළමුව රටේ දරු පරපුර කොරෝනා වෛරසයෙන් රැක ගැනීමට රජයට හැකි වූ බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ඇඳිරි නීතිය පැනවීමටත් කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරයා පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, කර්මාන්ත වැටුණත් එදිනෙදා කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය සකස් කර ඇති බවය. අත්‍යාවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඒ වගේම ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරමින් එය ජනතාවට ලබා දීමට කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය කරමින් පැවසුවේ, වැඩිහිටි දීමනාව, ආබාධිත පුද්ගල දීමනාව, ගොවීන්ට දෙන දීමනාව, වකුගඩු රෝගීන්ට දෙන දීමනාව, ගර්භනි මව්වරුන්ට අවශ්‍ය දීමනා ආදි සියල්ල ජනතාවට මේ වනවිට ලබා දීමට රජයට හැකි වූ බව ය. 645,000ක් වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවා අවසන් කිරීමටත්, ලක්ෂ 15ක් වූ රාජ්‍ය සේවකයින්ට අප්‍රේල් මාසයේ වැටුප ගෙවා දැමීමට රජය කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. රැකියා විරහිත උපාධිධාරීන් 40,000ක් නිරෝධායන කටයුතු සඳහා රජය විසින් යොදා ගැනිමට කටයුතු යොදා ඇති බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. සමෘද්ධිලාභීන් ලක්ෂ 17කටත් තවත් අතිරේක පුද්ගලයින් ලක්ෂ 6කුත් සමගින් ලක්ෂ 23කට රුපියල් 5,000 සමෘද්ධි දීමනාව ලබා දීමට රජය කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය. රටතුළ පවතින ව්‍යාපාර ද කඩා වැටී ඇති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රීරෝද රථ, පාසැල් වෑන් රථ, කුලී වෑන් රථ ආදිය සඳහා කල්බදු වාරික සහනයක් ද රජය ලබාදුන් බව ය. ජනතාවට රජය මෙවැනි සහයක් ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ සහයක් නොමැතිව බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ජනතාව වෙනුවෙන් අතුරු අයවැයක් සම්මත කර ගැනීමට ගියද ඊට සහය නොලැබුණු බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. එවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුය යළි රැස් කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද යන්න අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කරමින් කියා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ විසින් කොරෝනා වෛරසයට එරෙහි ගෙනයන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාගේ පැසසුමට ද ලක්වූ බව කොරෝනා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ලක්ෂ 53ක ජනතාවකට රජය මේ වනවිට සහන ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. ඇඟලුම් සහ සංචාරක කර්මාන්තයේ වැඩ ඇනහිට ඇති මේ මොහොතේ 'නැහැ' 'බැහැ' නොකියා මෙම සටන කරගෙන යන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙම අවස්ථාවේ දේශපාලනය ගැන සිතා තීන්දු තීරණ ගෙන නොමැති බවත් එවැනි තීන්දු නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරමින් කියා සිටියේ, අපට මේ මොහොතේ සිටින එකම සතුරා කොරෝනා සතුරා පමණක් බව ය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බක් පොහෝය දින විහාරස්ථාන කරා නොපැමිණෙන ලෙස මහා නායක හිමිවරුන් ජනතාවගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටි බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. මෙම වසංගත තත්ත්වය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන වේලාවක් නොව මනුෂ්‍යත්වයට මුල්තැන දී කටයුතු කළ අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. මනුෂ්‍යයින් ලෙස සිතුවොත් පමණයි අපට මෙම මිනී වලෙන් එහාට යාමට හැකි වන්නේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩිලෙස අවධාරණය කරමින් කියා සිටියේය. තම පවුලේ අය ගැනවත් නොසිතා රෝහලට වී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ ගෞරවයක් හිමිවිය යතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වෙන රටවල සෞඛ්‍ය සේවකයින් මුහුණු ආවරණ නැති නිසා සිය රාජකාරිය කළ නොහැකි බව පවසා ගෙදර යන තත්ත්වයක් තිබියදී, අපේ රටේ සෞඛ්‍ය සේවකයින් මුහුණු ආවරණ ගෙදරින් මසා ගෙනැවිත් රට වෙනුවෙන් කරන මෙම සේවය ගැන තමන් දැඩිලෙස ආඩම්බර වන බව ය. මරණ තර්ජන නොතකා සිය රාජකාරිය මැනවින් ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ද අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශයේදී ඇගයීමට ලක් කළේය. කොළඹ නගරයේ ගෙවල්වල සිට ආරම්භ කර ඇති වගා සංග්‍රාමය ගැන ද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැඩිසත්තාර ඒකක ඇඳන් පවා නිර්මාණය කරන තත්ත්වයට මේ වනවිට ජනතාව සුදානම්ව ඇති බව ය. වෙනත් රටවල් මුහුණ දුන් ඛේදවාචකයන්ට මුහුණු නොදී රටක් ලෙස අපට යළි නැගිටිය හැකි බවට තමන් විශ්වාසය තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. එබැවින් දියුණු සහ නිරෝගිමත් ජාතියක් ලෙස අපි යළි නැගීමට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී වැඩිදුරටත් කියා සිටියේය. https://www.facebook.com/NewsfirstSL/videos/1854538384680928/