වසරේ විශාලතම චන්ද්‍රයා දැක ගැනීමට අද අවස්ථාව

වසරේ විශාලතම “සුපිරි රෝස චන්ද්‍රයා”සමග ග්‍රහයින් 5 ක් නැරඹීමට අද මෙරට වැසියන්ට අවස්ථාව

by Hashini De Mel 07-04-2020 | 6:17 PM

COLOMBO (News 1st) - වසරේ විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හඳුන්වන පුරහඳ සමග බුධ, සිකුරු, අඟහරු, බ්‍රස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් 5 දැක ගැනීමේ විරල අවස්ථාව මෙරට ජනාතාවට අද රාත්‍රියේ උදාවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, අද දිස්වන චන්ද්‍රයාගේ විශාලත්වය 14% කින් හා දීප්තිය 30% කින් වැඩි බවයි. මෙම සුපිරි සඳ නැරඹීම සඳහා හෙට (8 වැනි දා) අලුයම 5.00 - 5.30 අතර කාලය වඩා සුදුසු බව ඔහු පවසන අතර එවිට බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහ පැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනා එකළඟට වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්නව බුධ ග්‍රහයා ද දීස්වනු ඇති. මෙම ග්‍රහ දසුන හෙට (8 වැනි දා) රාත්‍රී කාලයේ ද දැක ගැනීමට හැකි වෙනු ඇත. සුපිරි සඳක් නැරඹීමට හොඳම වේලාව චන්ද්‍රයා ක්ෂ්තිජයෙන් තරමක් ඉහළින් පිහිටන සඳු පායන හෝ බසින අවස්ථා බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය. අද දිනයේ සවස නැගෙනහිරින් සඳු උදාවනවිට චන්ද්‍රයා ද බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්‍රහලෝකය ද අපට දැකගත හැකි වේ. පුරහඳ "සුපිරි රෝස චන්ද්‍රයා" නමින් හැඳින්වුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමග ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල් වර්ගයක් නිසා එම නමින් හඳුන්වනු ලැබේ.