ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

by Staff writer 07-04-2020 | 6:41 PM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් සකස් කර ඇති මෙම වැඩපිළිවෙළ යටතේ පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම ක්‍රම 4 කට සිදු කෙරෙනු ඇති. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගින් එම කටයුතු සිදු කෙරෙනු ඇති බවයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම පොලිස් මූලස්ථානය මගින් සිදු කෙරෙනු ඇති. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා පොලිස් ඇඳිරී නීති බලපත් නිකුත් කෙරෙන්නේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසිනි. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරෙනු ඇත. ඒ, ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10 ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආයතනවලට පොලිස් ඇඳිරී නීති බලපත් කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10 ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ, ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට පැවරෙනු ඇති. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොලිස් ඇඳිරී නීති බලපත්‍ර අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කල්තබා නිශ්චය කර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දී ඇති බවයි. බලපත්‍ර අයැඳුම් කළ යුත්තේ, අතිශය සාධාරණ හේතු ඇතිව පමණක් බවත් ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය ප්‍රමුඛ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු ආයතනවල සේවකයනට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය. කෙසේ වෙතත් සේවා අවශ්‍යතාවක් නැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගනු ඇති. පොලිස් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියෙන් සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළ කර තිබේ.