ලොව පුරා කොරෝනා ආසාදිත මරණ 69000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිත මරණ 69000 ඉක්මවයි

by Staff writer 06-04-2020 | 1:39 PM

News 1st -  ලොව පුරා මේ වනවිට කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් ගණන 69000 ඉක්මවා ගොස් තිබේ.

එය දැක්වෙන්නේ 69,480ක් ලෙසයි. මේ වනවිට ලොව සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,274,346 ක් වන අතර සුව වූ පිරිස 264,838කි. පැතිර යන කොරෝනා වෛරසය හමුවේ දෙවන එළිසබෙත් රැජින ජාතිය අමතමින් නිළ ප්‍රකාශයක් කළේ ය. ඇය සඳහන් කළේ, මීට පෙර විවිධ අභියෝගයන්ට මුහුණු දුන්නද මෙම අභියෝගය ඒවාට වඩා වෙනස් බවයි . සියලු දෙනා එක්ව සාමුහිකව එක් අරමුණකින් ක්‍රියාකළහොත් මෙම අභියෝගය ජයගත හැකි අතර ඉන් පසු නැවතත් යථා තත්ත්වයට පත්විය හැකි බව ද ඇය පැවසුවා ය. වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වයං විනයේ වැදගත්කම පිළිබඳව ද දෙවන එළිසබෙත් රැජින අවධාරණය කළා ය. මේ අතර බ්‍රිතානය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල්ගත කර තිබේ. ඒ, වෛද්‍ය උපදෙස් අනුව ය. ඔහුට වෛරසය වැළඳී ඇති බව මීට දින 10 කට පෙර තහවුරු විය. මේ අතර සති දෙකකට පසුව ඉතාලියේ දිනක් තුළ මියයන පිරිසගේ අඩුවීමක් පෙන්නුම් කරයි. ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 525 කි. ඒ අනුව ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,887 කි. ඉතාලියේ මුළු ජනගනය දැක්වෙන්නේ මිලියන 60යි දශම 48ක් ලෙසයි. බිලියන 1.3ක ජනගහනයක් සිටින අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබේ. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 118 කි. මේ අතර ඉන්දියානුවන් ඊයේ දිනයේදී විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් දැල්වූවේ ය. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුව ය. මිලියන සංඛ්‍යාත ජනතාවගේ එකමුතුකම පෙන්වමින් කොරෝනා වෛරසයට අභියෝග කිරීමට සියලු දෙනා එක්විය යුතු බවට ඔවුන් ප්‍රතිඥා දුන්නේ ය. මේ අතර ජපානයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ පැතිර යන කොරෝනා වෛරසය එරට තුළද සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් ය. ජපානයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ප්‍රමාණය ගත වූ පැය 24 තුළ වාර්තා විය. එරටින් මේ වනවිට වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,654 කි. ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 85 ඉක්මවයි. ජපානයේ සමස්ත ජනගහනය මිලියන 126 යි දශම 47 කි. ගත වූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා විය. එම සංඛ්‍යාව දැක්වුණේ 1,165 ක් ලෙසයි. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් ආසාදිතයින් තුන්ලක්ෂ තිස්හයදාස් තුන්සිය විසිහත්දෙනෙකු වාර්තා වී ඇති මරණ 9,605 ක් වාර්තාවී තිබේ. මේ වනවිට අමෙරිකාවේ සමස්ත ජනගහණය මිලියන 331 කි.