පොලිස් ඇඳිරි නීතිය ගැන දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 6 කට හැර අනෙක් දිස්ත්‍රික්කවලට අප්‍රේල් 09 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 06-04-2020 | 4:25 PM

COLOMBO (News 1st) -කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සෙසු සියලු දිස්ත්‍රික්කවල අද උදෑසන 6.00ට ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබූ බවයි. එම දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර එදිනම සවස 4.00 ට යළි පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අද සිට ලබන සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ. පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසනු ඇත. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසරදී තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින ලෙසයි. කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සළකන ලබන බවත් කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් බවත් රජය අවධාරණය කර සිටී. ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනය 2020-04-06