කොරෝනා ආසාදිත ගැබිනිය ඇසුරු කළ අය නිරෝධායනයට

බේරුවල කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායනයට

by Staff writer 04-04-2020 | 7:12 PM

COLOMBO ( News 1st ) - බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 150 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි. දරු ප්‍රසුතිය සඳහා කළුතර, නාගොඩ මහරෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී කළ පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිතයෙකු බව හෙළි විය. මේ වනවිට මව සහ දරුවා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාරු කර යවා ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ බේරුවල ප්‍රදේශයෙන් මේ වනවිට කොරොනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති බවයි.