රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

ජනපති නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙකුට ඇප

by Staff writer 04-04-2020 | 5:45 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත රැඳවියන් 2961 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පසුගිය මාර්තු 17 වැනි දා සිට අද දක්වා කාලය තුළ මෙම පිරිස මුදා හැර ඇති බවය. ජනාධිපතිතුමා පසුගිය දා බන්ධනාගාර පරිශ්‍රයන් නිරීක්ෂණය කළ අවස්ථාවේදී රැඳවියන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට සහන සැලසීම සඳහා මෙම කමිටුව පත් කෙරුණි. ඒ අනුව දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමට නොහැකි, සුළු වැරදිවලට සිරගතවුවන් මෙන්ම දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති සිරකරුවන්ට මෙලෙස ඇප ලබාදුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය. බන්ධනාගාරවල සිරකරු ධාරිතාව දස දහසක් පමණක් වුවත් මේ වනවිට 26,000 කට අධික සිරකරුවන් පිරිසක් ඒවායේ රඳවා තිබේ. මෙම සිරකරුවන් මුදා හැරීමේදී රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ද සැළකිල්ලට ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.