ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි

by Staff writer 02-04-2020 | 8:04 AM
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 9ය ඉක්මවා තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 934 , 668 කි. වෛරස් ආසාදනයෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 47 , 181කි. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලබා ඇති පිරිස 193, 968කි. පසුගිය පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1041 ක් වාර්තා වී තිබේ. ඒ අතර කනෙක්ටිකට් ප්‍රාන්තයේ දිවි ගෙවූ සති 6ක බිළිඳෙකු ද වේ. මෙවැනි තත්ත්වයක් හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, විවිධ ප්‍රාන්තවලට වෛරසය බලපාන අයුරු වෙනස් බැවින් සම්පුර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. කෙසේවෙතත් ෆ්ලෝරීඩා, ජෝර්ජියා සහ මිසිසිපි ප්‍රාන්ත වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මේ වනවිට අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 214 , 482 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 5094 කි . ඉකුත් පැය 24 තුළ නව මරණ 727 ක් වාර්තා වීමත් සමග ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 13,155 ක් දක්වා ඉහළ ගියේ ය. ස්පාඤ්ඤයේ නව කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වූයේ 923 ක් ලෙසයි . ජර්මනියෙන් නව මරණ 156 ක් ද , ප්‍රංශයෙන් නව මරණ 509 ක් ද බ්‍රිතාන්‍යයෙන් නව මරණ 563 ක් ද වාර්තා වේ. ඉකුත් පැය 24 තුළ ස්විට්සර්ලන්තයෙන් කොරෝනා මරණ 55 ක් වාර්තා වන විට තුර්කියෙන් වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 63 කි. ඔස්ට්‍රියාවෙන් නව මරණ 18 ක් ද , කැනඩාවෙන් 13 ක් ද , පෘතුගාලයෙන් 27 ක් ද බ්‍රසීලයෙන් 41 ක් ද ස්වීඩනයෙන් නව මරණ 59 ක් ද ඉකුත් පැය 24 තුළ වාර්තා විය. ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 24 ක් වන අතර එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 437 කි. ඉන්දුනීසියාවෙන් නව කොරෝනා මරණ 21 ක් වාර්තා වන්නේ පෝලන්තය සහ රොමේනියාවෙන් නව මරණ 10 බැගින් වාර්තා වන පසුබිමකදීයි. ඉක්වදෝරයෙන් නව කොරෝනා මරණ 19 ක් ද රුසියාවෙන් නව මරණ 7 ක් ද ඩෙන්මාර්කය සහ අයර්ලන්තයෙන් නව මරණ 14 බැගින් ද වාර්තාවිය. මේ අනුව ඉකුත් පැය 24 තුළ ලොව වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 4 872 කි. එම කාලය තුළ වාර්තාවූ නව ආසාදිතයන් සංඛ්‍යාව ද 76 313 ක් වේ.