මැතිවරණ කොමිසමෙන් ජනපතිට දැනුම්දීමක්

මැතිවරණ දිනය ගැන ගැටලුව විසඳා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීමක් ලබා ගැනීම සුදුසුයි - මැතිවරණ කොමිසම ජනපතිට දන්වයි

by Staff writer 02-04-2020 | 9:01 PM

COLOMBO ( News 1st  ) -රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඊයේ රැස් වූ කොමිසන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියකින් ය. COVID-19 වෛරසය පැතිරීම හේතුවෙන් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමුණු අතර ඡන්දය පැවැත්විය හැක්කේ මැයි 14 වැනිදායින් පසු දිනයක බව කොමිසම මීට පෙර නිවේදනය කළේ ය. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් නැවත නිවේදනය කළ යුතු අතර ව්‍යවස්ථාව අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03කට පෙර දිනයක් විය යුතු බව මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුව මේ වසරේ ජුනි පළමු වැනි දිනවත් රැස් විය යුතු ය. ජුනි පළමු වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නම් මැයි 27 හෝ 28 දිනවල ඡන්දය පැවැත්විය යුතු අතර මුලික කටයුතු සංවිධානය කිරීම අප්‍රේල් 20 වැනිදා වනවිටවත් ආරම්භ කළ යුතු බව මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේය. දැනට පවතින තත්ත්වය අනුව අප්‍රේල් 20 වනවිට එම කටයුතු ආරම්භ කිරීමට හැකි තත්ත්වයක් උදාවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව පවසන මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ ජුනි මස 01 වැනිදාට පෙර පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවන බවයි. එම නිසා මෙම ගැටලුව විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/591326641454908/