ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන බවට පැමිණිලි

නුසුදුස්සන්ට ඇඳිරි නීති බලපත් දෙන ස්ථානාධිපතින්ට විනය ක්‍රියාමාර්ග

by Staff writer 02-04-2020 | 6:34 AM
COLOMBO (News 1st) : නුසුදුස්සන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබා දෙන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඇතැම් පිරිස් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ධාවනය කරන වාහන පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොදා ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය. මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම , මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්ක 19 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලබන 06 වැනිදා උදෑසන 6 ට ඉවත් කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව රජය පවසයි.