කොරෝනා මැඩලීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යෝජනාවලියක්

කොරෝනා මැඩලීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යෝජනාවලියක්

by Staff writer 02-04-2020 | 2:28 PM
COLOMBO (News 1st) : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවී තිබේ. එහිදී ඔවුන් COVID -19 වෛරසය පාලනයට සහ මැඩපැවැත්වීම සඳහා වන යෝජනා කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යතුමි වෙත ඉදිරිපත් කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ එම යෝජනා පහත පරිදි වේ. 01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම. 02. කොරෝනා වෛරසය පිළිබඳ සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම. 03.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්ට විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම. 04. COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම. 05.කොරෝනා වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම. 06. සායනික ප්‍රතිකාර සිදු කිරීමේදී විශේෂඥ උපදෙස් ලබාගැනීම මෙහිදී අමාත්‍යවරිය පවසා ඇත්තේ, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා, ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.