තවත් කොරෝනා ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ

කොරෝනා ආසාදිතයින් ගණන 148ක් දක්වා ඉහළට

by Staff writer 02-04-2020 | 11:33 AM
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව කොරොනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට කොරොනා ආසාදිතයින් 124 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. සැකසහිත රෝගීන් 231 දෙනෙකු ද වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. වෛසරය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ පිරිස 21කි. මේ අතර කොරොනා ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. මරදාන ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු ඊයේ රාත්‍රී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර මරදාන, ආනලඩ් රත්නායක මාවතේ පුද්ගලයින් දෙදෙහසක් නිරෝධායනයට යොමු කළ බව කොළඹ මහනගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ මරදාන ප්‍රදේශයේ පදිංචි කොරොනා ආසාදිත පුද්ගලයකු මියයාමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි. ඒ අනුව ඔහු පදිංචිව සිටි මහල් නිවාසය ද ඇතුළුව මහල් නිවාස 18 ක් මේ වනවිට හුදකලා කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මියගිය පුද්ගලයාගේ දියණිය, බෑනණුවන්, මිණිබිරිය සහ මුණුබුරා ද මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවයි. කොළඹ නාගරික සීමාවෙන් හමු සෙසු කොරොනා ආසාදිත රෝගීන්ගේ සමීපතමයන් 308 දෙනෙකු ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය. පවතින තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කොළඹ නගරයේ ළමා නිවාසවලට හා වැඩිහිටි නිවාසවලට පිටස්තර පුද්ගලයින් ඇතුළත් කර ගැනීම තහනම් කර ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය. මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයේ පවුල් 370 ක් තවදුරටත් නිරෝධායනයට ලක් කරමින් පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා සඳහන් කළේ ය.