COVID-19 ඔබේ දිස්ත්‍රික්කයට බලපා ඇත්තේ කෙසේද?

COVID-19 සුව වූ රෝගීන් 18යි: මෙරට දිස්ත්‍රික්ක 13කින් රෝගීන් වාර්තා වෙයි

by Chathuranga Rajapaksha 01-04-2020 | 3:09 PM

COLOMBO (News 1st): ගෙවුණු පැය 24 තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වාර්තා විය.

ඒ, රෝගීන් 21කි.

මීට පෙර කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වූයේ පසුගිය 17වැනිදා ය. ඒ, රෝගීන් 14කි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 143 දෙනෙකු සිටින බවය. එයින් රෝගීන් 18 දෙනෙකු සුවය ලබා තිබේ. පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය ගියේය. තවමත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 123කි. ඒ අනුව, අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 102ක්, වැලිකන්ද රෝහලේ රෝගීන් 9ක් සහ මුල්ලේරියාව රෝහලේ රෝගීන් 12 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටී. මීට අමතරව කොරෝනා බවට සැක සහිත රෝගීන් 231 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටිති. මේ වනවිට මෙරට තුළ වාර්තා වී ඇති රෝගීන් පිළිබඳව දිස්ත්‍රික්ක වශයෙන් සැළකිල්ලට ගැනීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම රෝගීන් ගණන 32කි. පසුගිය සතිය වනවිට රෝගීන්ගේ සංඛ්‍යාවෙන් ගම්පහ දිස්ත්‍රික්කය දෙවන තැන තිබුණ ද අද වනවිට පුත්තලම දිස්ත්‍රික්කය දෙවන තැනට පැමිණ තිබෙන්නේ රෝගීන් ගණන 25ක් වීම හේතුවෙනි. කළුතර දිස්ත්‍රික්කයේ තහවුරු වූ රෝගීන් ගණන 24කි. රෝගීන් 11ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඊට අමතරව විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාවලින් රෝගීන් 34 දෙනෙකු තහවුරු කරගෙන තිබේ. නමුත් ඔවුන්ගේ දිස්ත්‍රික්කය කුමක්ද යන්න සෞඛ්‍ය අංශ විසින් තවමත් තහවුරු කර නොමැත. නමුත් අනිකුත් වාර්තා වූ සියලුම රෝගීන් මෙරට දිස්ත්‍රික්ක 13කින් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මේ වනවිට රට තුළ පොලිස් ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක 6ට අඛණ්ඩව පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. මෙරට දිනපතා එක්වන නව රෝගීන් දෙස බැලීමේදී පසුගිය 25 වැනිදා සහ 27 වැනිදා හැරෙන්න මාර්තු 11 වැනිදා සිට ඊයේ දක්වා සෑම දිනයකම රෝගීන් වාර්තා වී තිබේ. මාර්තු 25 සිට මාර්තු 30 දක්වා කාලය තුළ රෝගීන් 20ක් වාර්තා වූ නමුත් ඊයේ දිනයේදී පමණක් රෝගීන් 21ක් වාර්තා වීම විශේෂත්වයකි. මෙම තත්ත්වය දෙස බැලීමේදි සෞඛ්‍ය අංශ පවසන්නේ සමාජ දුරස්ථභාවය තබා ගනිමින් ජනතාව තවදුරටත් ඉතා ඉවසීමෙන් තම සමාජ වගකීම ඉටු කළ යුතු බවය. සෑම විටම දෑත් පිරිසිදුව තබා ගැනීම, සාමූහික වශයෙන් එකතු නොවීම, තැන තැන කෙළ නොගැසීම, නිවසින් එළියට ගියත් යළි පැමිණි විගස ඇග සෝදා ගැනීම වැනි පුරුදු පිළිපැදිය යුතු බව ඔවුන් පවසති. ඊට අමතරව කොරෝනා පරාජය කිරීමටනම් සමාජ දුරස්ථකරණය 80% ට වැඩි මට්ටමේ පවත්වා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව ඔවුන් විසින් නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. ඒවා මෙසේය. 1. සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීම 2. බැංකු කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟාවන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම 3. විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්වීම 4. දිස්ත්‍රික්ක අතර සංචරණ හැකිතාක් දුරට අවම කිරීම 5. රෝග ව්‍යාප්තිය රටපුරා සිදු කළ හැකි පරිදි ජනතාව එක් රැස්වන අධික අනතුරු ස්ථාන (Hot Spots) පිළිබඳ දැඩි තීන්දු තීරණවලට එළඹීම (ආර්ථික මධ්‍යස්ථාන, ධීවර වරායන්, මැනි වෙළඳපොළ ඇතුළු වෙළඳ මධ්‍යස්ථාන, තේ කර්මාන්තශාලා) මේ කරුණු සියල්ල සැළකිල්ලට ගෙන සමාජයේ යහපත උදෙසා අප අපේ සමාජ වගකීම ඉටු කරමු! එසේ සිදු කළහොත් කොරෝනා වෛරසය අපට පරාජය කළ හැකිය. තීරණය ඔබ සතුයි..!! (මූලාශ්‍රය - සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020.04.01 උදෑසන 10.00ට නිකුත් කළ වාර්තාවට අනුව)