ජනපති මහ බැංකු ප්‍රධානීන් හමුවෙයි

ජනපති මහ බැංකු ප්‍රධානීන් සමග ආර්ථික සමාලෝචනයක

by Staff writer 01-04-2020 | 2:25 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි, ජනාධිපතිවරයා මහ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරීම සඳහා ඊයේ (31) මහ බැංකු ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවරයන් ද ජනාධිපතිවරයා විමර්ශනය කළ බවයි. මීට අමතරව සියලු බැංකු විවෘතව තබන ලෙස මහ බැංකුවට දැනුම් දුන් ජනාධිපතිවරයා COVID-19 උවදුරට පසු කාලය සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙස ද මහ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂවරයා මෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.