පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයින් 21ක්

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළට

by Staff writer 01-04-2020 | 7:23 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ පමණක් රෝගීන් 21 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනූව මෙරටින් දිනකදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූයේ ඊයේ දිනයේදීයී. ඒ අතරින් පුද්ගලයින් 10 දෙනෙකු, පුත්තලමේ පදිංචිකරුවන් ය. ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ සංචාරය කළ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බව පසුගිය සතියේ තහවුරු කර ගැනිණ. අනතුරුව ඔහු සමග සංචාරයේ නිරත වූ පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරුණු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කෙසේ වෙතත් ඊයේ සොයා ගත් රෝගීන් 10 දෙනා, එලෙස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයගේ පවුල්වල සාමාජිකයින් ය. අනෙක් පුද්ගලයින් අතරින් 6 දෙනෙකු කළුතර පදිංචිකරුවෝ වෙති. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, මහනුවර අකුරණ පදිංචිකරුවන් පිරිසක් ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි. කෙසේ වෙතත් මෙම දින කිහිපය තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ය. සමස්ත ආසාදිතයින් අතරින් 124 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 17 කි. සැකසහිත රෝගීන් 173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ අතරට ළමුන් 29 දෙනෙකු ද ඇතුළත් වේ. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2 කි. කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ රෝහල් කිහිපයක වාට්ටු කිහිපයක් වසා දමා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක් කිරීමට සිදුවිය.