EPF අරමුදලින් ජනතාවට සහන සැලසීමේ යෝජනාවක්

EPF අරමුදලින් ජනතාවට සහන සැලසීමේ යෝජනාවක්

by Staff writer 31-03-2020 | 9:44 AM
COLOMBO (News 1st) : සේවක අර්ථ සාධක අරමුදල යොදා ගෙන වැඩ කරන ජනතාවට සහන සැලසීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කර තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයින්ට සිය තැන්පතුවලින් 20 %ක් ලබාදිය යුතු බව ඔහුගේ එම යෝජනාවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙම යෝජනාව ඊයේ පුවත් පත් කිහිපයක් වාර්තාකර තිබිණ. එම වාර්තාවලට අනුව ඔහු යෝජනා කර තිබෙන්නේ, පවතින තත්ත්වය හමුවේ රජයට බරක් නොමැතිව ජනතාවට සහන සැලසීම සඳහා සේවක අර්ථ සාධක අරමුදල යොදාගත හැකි බවයි. මේ වන විට රුපියල් බිලියන 2500 ක් ඉක්මවා ඇති එම අරමුදලෙන්, මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 500 ක් වැනි මුදලක් වැය වනු ඇතැයි කබ්රාල් මහතා පෙන්වාදී තිබේ. ඒ තුළින් ලක්ෂ 25ක් වන සාමාජිකයින් සඳහා රජයට කිසිදු බරක් නොමැතිව සහන සැලසිය හැකි බව ඔහුගේ අදහසයි. එම මුදල් ආර්ථිකයට ගලායෑමට සැලැස්වීම තුළින් මේ මොහොතේ ණය වාරික ආදිය ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට මහත් පිටුවහලක් වනු ඇති බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි. ආර්ථිකයට මෙවැනි මුදලක් අලුතින් ගලා ඒම තුළ ජනතාවගේ පරිභෝජන හා ආයෝජන ශක්තිය වර්ධනයවීමෙන් ආර්ථිකයේ ක්ෂණික පිබිදීමක් ඇති වන බව ඔහුගේ අදහසයි. https://www.facebook.com/NewsfirstSL/videos/634169193808015/