රුපියල් මි.12,500ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

රු. මිලියන 12,500කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව වටලයි

by Staff writer 31-03-2020 | 2:02 PM

COLOMBO (News 1st): රුපියල් මිලියන 12,500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේ කළ වැටලීමකදී සොයාගත් බව නාවික හමුදාව පවසයි.

එහි තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 500 බැගින් සොයා ගැනිණි. සයුර නෞකාව ගැඹුරු මුහුදේ ආවේක්ෂණ රාජකාරීවල නිරතව සිටින අතරතුර දකුණු වෙරළට නාවික සැතපුම් 463 ක දුරකදී විදේශීය ධජයක් සහිත අදාළ නෞකාව හමුවූ බව නාවික හමුදාව සඳහන් කළේය. එය පරීක්ෂාවට ලක් කිරීමේදී අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍යවලට අමතරව, බාබුල් පැකට් 200 ක් සහ හඳුනා නොගත් මත්පෙති ග්‍රෑම් 100ක් සොයාගෙන තිබුණි. එය, ගතවූ මාස දෙක තුළ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් තුන්වැනි නෞකාවයි. මීට පෙර පෙබරවාරි 22 සහ 25 යන දෙදින මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ නෞකා දෙකක් සැකකරුවන් 27 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනිණි. අද සොයා ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශීය සහ විදේශීය සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කළේය.