මීගමුව රෝහලේ වාට්ටුවක් වසා දැමේ

මීගමුව රෝහලේ වාට්ටුවක් වසා කාර්ය මණ්ඩලයේ 20ක් නිරෝධායනයට

by Staff writer 31-03-2020 | 10:20 AM
COLOMBO (News 1st) : ඊයේ පස්වරුවේ කොරෝනා ආසාදිත දෙවන මරණය වාර්තා වූ මීගමුව මහ රෝහලේ වාට්ටුවක් වසා දමා තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20 කට අධික පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බවයි. කොරෝනා ආසාදනයවීමෙන් මෙරටදී සිදු වූ දෙවන මරණය මීගමුව මහරෝහලෙන් ඊයේ වාර්තා විය. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රීයේ සිදු කෙරිණ. නිරෝධායන රෙගුලාසීවලට අනූව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළයුතුව ඇත. ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා මීගමුව රෝහලට මාරු කර එවීමෙන් පසු එලෙස ජීවිතක්ෂයට පත්විය. හෘදයාබාධයකින් පෙළුණු ඔහු, දීර්ඝ කාලීන ශ්වසන ආබාධයකින් ද පෙළුණු පුද්ගලයෙකි. https://www.facebook.com/NewsfirstSL/videos/224212942278173/