කොරෝනා වැළඳුණු තවත් අයෙක් අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ

by Staff writer 31-03-2020 | 7:14 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රීයේ සිදු කෙරිණ. ඒ, මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදීයි. නිරෝධායන රෙගුලාසීවලට අනූව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළයුතු වේ. ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා මීගමුව රෝහලට මාරු කර එවීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. හෘදයාබාධයකින් පෙළුණු ඔහු, දිගු කාලීන ශ්වසන ආබාධයකින් ද පෙළුණු පුද්ගලයෙකි. එම මරණය වාර්තා වීමත් සමඟ මීගමුව මහ රෝහලේ වාට්ටුවක් වසා දමා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය සඳහන් කළා ය. කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඊයේ පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ද වාට්ටුක් වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කෙරිණ. රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කළ බවයි. මෙරටින් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122 කි. ඉන්, පුද්ගලයින් 104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 14 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. නාත්තණ්ඩියේ පදිංචි මාස හතරක කුඩා බිළිඳෙකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ඊයේ තහවුරු විය. මේ අනූව ඉදිරි සති දෙක තුළ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත විය හැකි බව, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1186641938334694/