කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ගැන අනාවරණයක්

අද සවස හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 10දෙනා ගැන සෞඛ්‍ය අංශ කළ අනාවරණය

by Staff writer 31-03-2020 | 10:10 PM

COLOMBO (News 1st): අද පස්වරුවේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 10 දෙනා පුත්තලමේ වාසය කරන්නන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංග රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ සංචාරය කළ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බව පසුගිය සතියේ තහවුරු කර ගැනිණි. අනතුරුව ඔහු සමග සංචාරයේ නිරත වූ පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරුණු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවවසයි. කෙසේ වෙතත් අද සොයාගත් රෝගීන් 10 දෙනා එලෙස නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ අයගේ පවුල්වල සාමාජිකයින් වේ. මේ අතර අද පෙරවරුවේ ද නව ආසාදිතයින් 10 දෙනෙකු සොයා ගැනිණි. ඒ අනුව අද දිනය පුරා සොයාගත් මුළු නව ආසාදිතයින් ගණන 20කි. එම සංඛ්‍යාවත් සමග මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියේය. සමස්ත ආසාදිතයින් අතරින් 123 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතුරින් 17 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ, අද දිනයේ තවත් තිදෙනෙකු සුවය ලැබීමත් සමගිනි. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන සැක සහිත රෝගීන් සංඛ්‍යාව 173කි. ඒ අතර ළමුන් 29 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.