මාස 04ක  බිළිඳෙකු ඇතුළු එකම පවුලේ 05කට COVID-19

නාත්තන්ඩියේ මාස 04ක බිළිඳෙකු ඇතුළු එකම පවුලේ 05 දෙනෙකුට කොරෝනා වැළඳෙයි

by Chathuranga Rajapaksha 30-03-2020 | 5:43 PM

COLOMBO (News 1st): මාස හතරක කුඩා බිළිඳෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය.

මීට දින දෙකකට පෙර හලාවත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාත්තණ්ඩියේ පදිංචිකරුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනිණි. ඔහු යොමු කෙරුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනයටයි. ඊයේ දහවල් නිවසේ සිටියදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ද, හලාවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණි. එහිදී ඇය ද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරිණි. එම පවුලේ තරුණ දරුවන් දෙදෙනකු ද කොරෝනා ආසාදිතයින් බව අද අනාවරණය වී තිබේ. එම පවුලේ තවත් දියණියකගේ මාස 4ක බිළිඳාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි අද තහවුරු වීමත් සමග ඔවුන් දෙදෙනාම ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) යොමු කෙරුණි. එහෙත්, එම බිළිඳාගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නොමැත. මේ අනුව ඉදිරි සති දෙක තුළ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත විය හැකි බව, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 104කි. වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතුරින් 14 දෙනෙකු සුවය ලබා පිටව ගියේය.