UPDATE: ඇඳිරි නීතිය ගැන දැනුම්දීමක්

කොළඹ ඇතුළු ඇඳිරි නීතිය දීර්ඝ කළ දිස්ත්‍රික්ක 6 හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන 01වැනිදා දක්වා

by Chathuranga Rajapaksha 30-03-2020 | 6:26 PM

COLOMBO (News 1st: කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.