කොරෝනා නිසා පීඩාවට පත් පුද්ගලයින්ට රජයෙන් සහන

කොරෝනා නිසා පීඩාවට පත් පුද්ගලයින්ට රජයෙන් සහන

by Staff writer 30-03-2020 | 10:46 PM

COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභීන්ට සහ අවදානමට ලක් විය හැකි පවුල් හා පුද්ගලයින් සඳහා සහන රැසක් ප්‍රදානය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000ක මුදලක් ගෙවීමෙන් දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්ය සාධන බලකායට දැනුම් දී ඇති බවයි. අදාළ සහන හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කෙරෙන චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අද නිකුත් කර ඇතැයි ද මෙහි සඳහන්. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කෙරෙන තෙක් මෙම සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට නිවෙස් වෙත ලබාදීමට සියලු පියවර ගන්නැයි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී තිබේ. රුපියල් 5,000 දීමනාව ගෙවනු ලබන අය අතරට, වැඩිහිටි දීමනා ලාභීන්, ආබාධිත දීමනා ලාභීන්, ගොවීන්, වකුගඩු රෝගීන් ඇතුළත්ය. ගැබිණි මවුවරුන් හා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ත්‍රිපෝෂ හා වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සපයනු ලබන බවද ජනපති කාර්යාල නිවේදනයේ සඳහන්ය. සමෘද්ධි හිමිකම් ලාභීන්,පොරොත්තු ලේඛනයේ සිටින්නනන් ද රුපියල් 5,000 දීමනාවට හිමිකම් කියනු ඇති. විශ්‍රාමික රජයේ සේවකයින්ට විශ්‍රාම වැටප් ගෙවන බවද, රජයේ සේවකයින්ට අප්‍රේල් මස වැටුප ගෙවන බවත්,වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවා ඇති බවත් සඳහන්ය. ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ,ස්වයං රැකියා සඳහා භාවිත කෙරෙන මෝටර් රථ සඳහා ද ඇතැම් පෞද්ගලික ව්‍යාපාර සඳහා ද සහන හිමිකර දී තිබේ.