ආහාර බෙදාහැරීමට අදාළව චක්‍රලේඛයක්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ බලය දිස්ත්‍රික් සහ ප්‍රා. ලේකම්වරුන්ට

by Staff writer 30-03-2020 | 12:22 PM
COLOMBO (News 1st) : මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ වැනි සේවා සැපයීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ සේවාවන් සැපයීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විධායක නිලධාරීන්ගෙන් සැදුම්ලත් සහයක නිලධාරී කණ්ඩායමක් පත් කළ යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන, සුපිරි වෙළෙඳසල් සහ වෙළෙඳ සංගම්වල සහභාගීත්වයෙන් ජංගම සේවාවන් සංවිධානය කර සෑම නිවසක්ම ආවරණය වන පරිදි ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදිය යුතු වේ. ඒ සඳහා සහාය වීමට, තොග සහ සිල්ලර වෙළෙඳුන්ට අවශ්‍ය කෙරෙන ඇඳිරි නීති බලපත්‍ර ලබාදීම සඳහා පොලිස් ස්ථාන වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. මහා භාණ්ඩාගාරයෙන් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති මුදල රුපියල් මිලියනයකි. එම මුදලින් තම ප්‍රදේශවල ඇති අතිරික්ත දේශීය නිෂ්පාදන මිලදී ගෙන ජනතාව අතර බෙදාහැරීම සඳහා අනෙකුත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව සම්බන්ධීකරණ කටයුතු සිදුකළ යුතු වේ. අදාළ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම්, භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දිය යුතුයි. අත්‍යවශ්‍ය සේවා වල නිරත පුද්ගලයින්ට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් ඉන්ධන පිරවුම්හලක් විවෘතව තැබිය යුතු බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි. තම කොට්ඨාසය තුළ රාජ්‍ය ඔසුසල් නොමැති නම් පෞද්ගලික ඔසුසල් කිහිපයක් තෝරාගෙන අත්‍යවශ්‍ය ඖෂධ නිවාස වෙත බෙදාදීමට කටයුතු කළ යුතුයි. සියලු අංශ සම්බන්ධීකරණය කරමින් සෑම පවුලකටම අවශ්‍ය ආහාර සහ ඖෂධ සපයා දීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කළයුතු වන්නේ එම වැඩපිළිවෙළ සමීපව අධීක්ෂණය කරමිනි. සතියකට දිනක් හෝ තම ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට නිලධාරීන් වගබලා ගත යුතුයි. දෛනික ආදායම් ලබන මෙම අවස්ථාවේ සිය අවශ්‍යතා සපුරා ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ප්‍රදේශයේ ධනවතුන්ගේ සහ ස්වේච්ඡා සංවිධානවල සහායෙන් ආධාර ලබාදීමට කටයුතු කළයුතු වේ. ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථානවලට වියළි සලාකයක් ලබාදීමට ද ඔවුන් කටයුතු කළයුතු වන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමිනි. අන්‍යාගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නගින්නේ නම් අවශ්‍ය සහන ලබාදීමට සුදුසු විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එම චක්‍රලේඛයෙන් දැනුම් දෙයි.