දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය

මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය

by Chathuranga Rajapaksha 29-03-2020 | 9:38 AM

COLOMBO (News 1st): කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00ට ඉවත් කර යළි දහවල් 2.00ට නැවත පැනවීමට තිබුණද අකුරණ නගරය නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. දිවයිනේ අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල හෙට, (මාර්තු 30 සඳුදා) උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යළි දහවල් 2.00ට නැවත පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ නගරයට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. කිසිම පුද්ගලයෙකුට මෙම ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.