ආසාදිතයෙකු ඇසුරු කර ධීවරයෙක් ගොඩබිමට ගෙන්වයි..

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කර ධීවරයෙකු නාවික හමුදා මෙහෙයුමකින් පසු යළි ගොඩබිමට

by Chathuranga Rajapaksha 29-03-2020 | 12:40 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙකු ත්‍රීකුණාමලය පොලිසිය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (29) කටයුතු කළේය.

ඔහු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙකු ඇසුරු කළ නිරෝධායනය සඳහා යොමු කළ යුතුව ඇති පුද්ගලයෙකු ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් හොර රහසේ නැවතත් ගොඩබිමට පැමිණීමට උත්සහ දරණ බවට ත්‍රීකුණාමලය පොලීසිය විසින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුවේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාව සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. අදාල පුද්ගලයා ගමන්ගත් යාත්‍රාව සහ සැකපිට තවත් යාත්‍රා 2ක් සමග පුද්ගලයින් දස දෙනෙකු ත්‍රීකුණාමලය වරාය වෙත අද අලුයම රැගෙන ආවේය. අනතුරුව නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් සියලු ආරක්‍ෂක විධි විධාන අනුගමනය කරමින් එම යාත්‍රාවන්හී ගමන් ගත් පුද්ගලයින්හට මූලික රෝග ලක්‍ෂණ ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලදී. ඔවුන් ගමන් ගත් යාත්‍රාවන් ද නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණට ලක් කිරීමටද කටයුතු කළේය. මෙසේ නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන්වා ගත් පුද්ගලයින් සියලුදෙනා ත්‍රීකුණාමලය පොලීසිය වෙත භාරදී තිබේ.