කොරෝනා ආසාදිත පුද්ගලයින් 104ක් රෝහල්වල

ඉදිරි සතියේ කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

by Staff writer 29-03-2020 | 7:19 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරට පළමු කොරෝනා මරණය ද ඊයේ රාත්‍රියේ වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. මාරවිල පදිංචි අදාළ පුද්ගලයා දියවැඩියා සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නෙකි. ඊට අමතරව ඔහු වකුගඩු බද්ධ කිරීමකට ද ලක්වූ පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර මෙරටින් ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 කි. සුවය ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. සැක සහිත රෝගීන් 199 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, තවත් වෛද්‍යවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුව ඇති බවයි. අප්‍රේල් 7 වැනිදා දක්වා කාල සීමාව තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව ද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ය. වෛරසය පැතිරීමේ තෙවන අදියර වන කණ්ඩායම් වශයෙන් රෝගය පැතිර ගිය තත්ත්වයක් දැනට පෙන්නුම් කරන බවත්, වෛරසය පැතිරීමේ සිව් වන අදියරට පැමිණිය හොත් භයානයක තත්ත්වයක් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර කොරෝනා ව්‍යසනය මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග වලට සහය වන්නැයි රාමඥ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපනේ පේමසිරි මහ නා හිමියන් ඊයේ රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.