දළදා මාළිගාව,මහ නාහිමිවරුන්ගෙන් මුදල් පරිත්‍යාගයක්

Covid-19 අරමුදලට දළදා මාළිගාව සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02ක් පරිත්‍යාගයක්

by Chathuranga Rajapaksha 28-03-2020 | 4:02 PM

COLOMBO (News 1st): Covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ශ්‍රී දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02ක් පරිත්‍යාග කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ගිය අවස්ථාවේදීය. ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණි. එහිදී Covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් රුපියල් කෝටියක මුදලක් පිරිනමනු ලැබිණි. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිලි කළේය. මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් Covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළේය. ජනාධිපතිතුමා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ හිමිපාණන් ද බැහැදුටුවේය. පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට රජයේ වැඩපිළිවෙළ පැහැදිලි කළේය. Covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අස්ගිරි මහා විහාරයෙන් ද රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.