තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබති

by Staff writer 28-03-2020 | 11:53 AM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 106කි. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 97 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඒ අතරින් ආසාදිතයින් 87 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදීයි. වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයින් 9 දෙනෙකු සහ මුල්ලේරියාව රෝහලේ ආසාදිතයෙකු ප්‍රතිකාර ලබයි. මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 25 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු වශයෙන් ආසාදිතයින් වාර්තා වේ. කොරෝනා බවට සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.