ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

by Staff writer 27-03-2020 | 10:58 PM

COLOMBO (News 1st) - යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් බව, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

එම සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ය. එබැවින්, මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානය පවසයි. එම සංවිධානය සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය. කොරොනා වෛරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ. වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දාසහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.