නෞකාවලට රජයෙන් සහනයක්

සියලු නෞකා ප්‍රමාද ගාස්තු සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කෙරේ

by Staff writer 27-03-2020 | 4:14 PM

COLOMBO (News 1st) - මෙරට වරායන් වෙත පිවිසෙන සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේනය කළේය. මේ අතර සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබා දී තිබේ. ආනයන, අපනයන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය සහන, ව්‍යාපාරිකයින්ට වරාය පරිශ්‍රයේදීම ලබාදීමට මේ යටතේ පියවර ගැනෙනු ඇති. ඒ අනුව, ඇඳිරි නීතිය බලාත්මක කාලසීමාවේදී වරාය පරිශ්‍රයේ භාණ්ඩ මෙහෙයවීමේ දී ආනයනික බහාලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහාලුම් සඳහා අය කරන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර තිබේ. වරාය ආශ්‍රිත ප්‍රවාහනය සඳහා යොදාගන්නා ට්‍රක්, ලොරි, ටිපර්, බවුසර් රථ සහ නියෝජිත ආයතනවල පොදු හා පෞද්ගලික රථ සඳහා වරාය පරිහණය සඳහා දැනට ලබාගෙන ඇති වරාය දොරටු ප්‍රවේශ හා පුද්ගල ප්‍රවේශ අවසර පත්ද වලංගු වනු ඇති. වරාය ආශ්‍රිත රාජකාරී කටයුතුවල නිරත පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවක පිරිස් සඳහා පොලිස් ඇඳිරි නීති කාලසීමාවේ ගමන් කිරීමේ අවසර පත්‍ර වරාය අධිකාරියේ නිර්දේශ මත ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කිරීමට නියමිතය. වරාය තුළ ක්‍රියාත්මක පර්යන්ත සේවා හා අන්තර් පරියන්ත සේවාවන්හි නිරත බහාලුම් , භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා අවශ්‍ය ඉන්ධන මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගැනීමේ පහසුකම ද හිමි වේ.