තොරතුරු වසන් කර ප්‍රතිකාර ගැනීමට පැමිණි කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි

by Staff writer 27-03-2020 | 11:37 PM

COLOMBO (News 1st) - තොරතුරු වසන් කර ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියෙකු පසුව කොරෝනා අසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමේ සිදුවීමක් අදත් වාර්තා විය.

මෙම සිදුවීම ශ්‍රී ජයවර්ධපුර රෝහලේදී සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. ඉතා ඉක්මණින් එම රෝගියාගේ තත්ත්වය තහවුරු කර ගැනීමට හැකි වූ නිසා ජයවර්ධපුර රෝහලේ කාර්යමණ්ඩලය නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය. මේ අතර ආසිරි රෝහල් සමූහය සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනය කළේ, රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, ඔහුගේ ඥාතීන් තොරතුරු වසන්කර ප්‍රතිකාර සඳහා සිය රෝහලට ඇතුළත් කර තිබියදී Covid-19 ආසාදිත බවට ඊයේ සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූ බව ය. වහාම රෝගියා බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලට මාරුකර යවා තිබේ. ආසිරි රෝහල් සමූහය පවසන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මගපෙන්වීම යටතේ අවදානමට ලක්වූ රෝහල් කාර්යය මණ්ඩලය නිරෝධායනයට ලක්ව සිටින බවය.