COVID-19: අමෙරිකාව චීනය අභිබවා යයි

චීනය සහ ඉතාලිය අභිබවමින් අමෙරිකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රට බවට පත් වෙයි

by Staff writer 27-03-2020 | 7:40 AM

News 1st - අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනය හා ඉතාලිය අභිබවා ගොස් තිබේ.

ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,404 කි. මේ වනවිට අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 1100 ඉක්මවනු ඇත. විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට එරට ප්‍රාන්ත 21 කට නිවෙස් තුළට වී සිටින ලෙස නියෝග කර ඇති බවයි. මේ අතර ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි එරට බලධාරීන් පවසති. ඉතාලියෙන් ආසාදිතයින් 80,539 දෙනෙකු වාර්තා වන්නේ 8215 දෙනෙකුට මරු කැඳවමින් ය. යුරෝපයේ කොරෝනා බලපෑමට ලක් වූ රටවල් අතරින් දෙවැනි තැන හිමිවන්නේ ස්පාඤ්ඤයටයි. එරටින් ඉකුත් පැය 24 තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 57,786 දක්වා ඉහළ ගොස් තිබේ. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4365 කි. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් පන් ලක්ෂ තිස් දහස ඉක්මවන අතර මිය ගිය සංඛ්‍යාව ද 24,000 ඉක්වා ගොස් තිබේ.