සියලු වාණිජ බැංකු ශාඛා විවෘතයි

සියලු වාණිජ බැංකු ශාඛා පැය 4 ක් හෝ විවෘත තබන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

by Staff writer 26-03-2020 | 8:18 AM

COLOMBO (News 1st) - සියලු වාණිජ බැංකු ශාඛා විවෘත තබන්නැයි මුදල් අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසුවේ, ඒ අනුව අද පෙරවරු 8.00 සිට පැය 4 ක කාලයක් හෝ බැංකු විවෘතව තබන්නැයි දැනුම් දී ඇති බවයි. ඒ, අවම සේවක පිරිසක් යොදා ගනිමිනි. ණයවර ලිපි විවෘත කිරීම ඇතුළු මුල්‍යමය කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ණය කාඩ්පත්වලින් දේශීයව කරනු ලබන රුපියල් 50,000 දක්වා වූ ගනුදෙනු මත ගණනය වන උපරිම පොලිය 15% ක උපරිමයකට යටත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු බැංකු වෙත උපදෙස් දී තිබේ. එමගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, සියලුම ණය කාඩ්පත්වලට ගෙවිය යුතු අවම මුදල 50% කින් අඩුකිරිමට හා රුපියල් 50,000 ට අඩු ණය සීමාවක් සහිත කාඩ්පත්වල ගෙවිම් කළ යුතු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරන ලෙසයි. මීට අමතරව බලපත්‍රලාභී බැංකු මගින් නිකුත් කරනු ලබන රුපියල් ලක්ෂ 5 ට අඩු වටිනාකමෙන් යුත් චෙක්පත්වල වලංගු කාලය අප්‍රේල් 30 වැනි දා දක්වා එම චක්‍රලේඛය මගින් දීර්ඝ කර තිබේ. මේ අතර ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බැංකු සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.