නිරෝධායනය අවසන් කළ තවත් 223ක් නිවෙස් වෙත

නිරෝධායනයට ලක් කෙරුණු තෙවන කණ්ඩායමත් පිටව යයි

by Staff writer 26-03-2020 | 1:09 PM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තෙවන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් තිබුණි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, 223 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්කර යැවූ බවයි. කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳී සිටි 42 දෙනෙකු අද නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු මෙලෙස පිටත්ව ගියහ. මෙහි නේවාසිකව රැඳී සිටි පිරිස නිර්මාණය කළ සිතුවම් ද හමුදාවට භාර දී තිබුණි. මීට අමතරව පූනානි මධ්‍යස්ථානයේ රැඳී සිටි 125 දෙනෙක්, මියන්කුලම මධ්‍යස්ථානයේ සිටි 18 දෙනෙක් හා දියතලාව මධ්‍යස්ථානයේ සිටි 38 දෙනෙකු ද අද පිටත්ව ගිය කණ්ඩායමට අයත් වේ. ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි. පිරිස මහනුවර, මාතර, හම්බන්තොට, කුරුණෑගල සහ ගාල්ල ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි යුද හමුදාවේ මැදිහත්වීමෙන් බස් රථ මගින් රැගෙන යාමට පියවර ගැනුණි.