ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ

ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 26-03-2020 | 3:06 PM

COLOMBO (News 1st): ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් බව ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව අවසන් රෝගීය වාර්තා වී ඇත්තේ පසුගිය 24 වැනිදාය. මේ අතර, ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යාතනයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මේ වනවිට රෝගින් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මේ වනවිට කොරෝනා ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 3කි. සෞඛ්‍යය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වනවිට කොරොනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන මෙරට රෝගීන් සංඛ්‍යාව 99කි. ඔවුන්ගෙන් රෝගීන් 88ක් IDH රෝහලේ ද, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 10ක් සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. කොරෝනා බවට සැකපිට රෝගීන් 255 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.