කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය අමෙරිකාව?

COVID-19: අමෙරිකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පුරෝකතනයක්

by Staff writer 25-03-2020 | 7:32 AM

News 1st - අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මාග්‍රට් හැරිස් පැවසුවේ, අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. ගත වූ පැය 24 තුළ යුරෝපයේ හා අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 85% ක් වන අතර ඉන් 40 % ක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා අසාදිතයින් 53,609 වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 658 කි. කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සමස්ත ඉන්දියාවේ කටයුතු අක්‍රීය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේ ය. විදෙස් වාර්තා අනාවරණ කළේ, මෙම අක්‍රීය තත්ත්වය දින 21 ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවයි. මෙම තත්ත්වය හමුවේ කිසිදු ඉන්දීය වැසියෙකුට නිවසින් බැහැරව යා නොහැකි වනු ඇති. අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නැයි අග්‍රාමාත්‍ය මෝදි ඉන්දීය වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත් විදෙස් වාර්තා පැවසුවේ, අක්‍රීය තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග දිල්ලි ඇතුළු නගර රැසක ජනතාව ආහාර රැස් කිරීම ආරම්භ කර ඇති බවයි. මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා අසාදිතයින් 519 දෙනෙකු වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 10 කි. මේ අතර යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 69,176 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 6820 කි. ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවන අතර මිය ගිය සංඛ්‍යාව 18,810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.